Friday, 21 March 2014

4. ප්‍රථම ප්‍රේමයේ අරුණළු

4. ප්‍රථම ප්‍රේමයේ අරුනළු

1979 අවුරුද්දෙ මම විශ්ව විද්‍යාලයට   ඇතුල් වුනා. ඒ යන්න කලින් මම ගමේදි ඉන්ග්‍රීසි පන්තියකට ගියා. එහෙම යනකොට දවසක් මම බස් එකට නගිනකොට ඒ බස් එකේ හිටියෙ පුහුනු වෙන කොන්දොස්තර කෙනෙක්. මට ටිකට් එක දෙනකොට මොකක්ද වැරදිලා පුහුනු කරන්න හිටපු කොන්ද මෙයාට බැන්න. මට ඒ නිසා ඒ අය්යව හොඳට මතකෙට හිටිය. අනෙක සංසාරෙ කවද හරි දවසක ඒ අය්යව දැකල තියෙනව කියල හැඟීමක් මට දැනුන. මගෙ හිතට මොකක්දෝ තිගැස්මක් ඇති උනා.  ඊට ටික කාලෙකට පස්සෙ පුහුනුව ඉවරවෙලා ඒ අයිය අපෙ පාරෙ බස් එකටම වැටුන. මට මුලින්ම දැක්ක ගමන්ම අඳුන ගන්න පුලුවන් උනා. හරිම ලස්සන අයිය කෙනෙක්. ගම බදුල්ලෙ. මට වඩා අවුරුදු 16ක් වැඩිමහල්.

මම බස් එකට නගින ගමන් ඒ අයියත් එක්ක හිනහ වුනා එයත් හිනා වුනා. අයිය සුදුම සුදුයි, උසයි, ලස්සනයි. පිටදි දැක්කොත් කවුරුවත් හිතන්නෙ නැහැ කොන්දොස්තර කෙනෙක් කියල. හොන්දට උස මහත තියෙන නිසා  හමුදාවෙ මේජර් කෙනෙක් කියල තමයි හිතෙන්නෙ. මට මේ අයියව යාළු කරගන්න ලොකුවට වුවමනා උනා. ඒක කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැහැ.  එයාට වඩා මම ගොඩක් බාල නිසා එයා කීයටවත් මගෙත් එක්ක ආශ්‍රයට එන්නෙ නැති බව මම දන්නව. අනෙක මම ගොඩක් ලජ්ජාශීලි නිහඬ පාසල් ශිෂ්‍යයෙක්. කුඩා කාලෙදිම වැඩිමහල් පිරිමියෙකුගෙ අතවරයකට ලක් උන කෙනෙක් හන්ද වැඩිමහල් පිරිමි එක්ක කතා කරන්න ලොකු පැකිලීමක් තිබුන. ගුරුවරුන්ගෙවත්  කෙලින් මූන බලල කතා කරන්න බැරි සභකෝලයක් තිබුන. ඉතින් මම පන්ති යනකොට කොච්චර බස් ගියත් මම අයියගෙ බස් එක එනතුරුම ඉන්නව. පන්ති ඇරිල එනකොටත් ඒ අය්යගෙ බස් එක එන තුරුම ඉඳල තමයි නගින්නෙ. ඒ අය්ය මට දීපු ටිකට් මම හැමදාම එකතු කරගන්නව. සමහර වෙලාවට අයිය ගැන හිත හිත ඒ ට්කට් ඉඹිනව. අයියගෙ ඇඟිලි ස්පර්ශ උන ඒ ටිකට් විසි කරන්න මට හිත දුන්නෙ නැහැ. සමහර ටිකට් අවුරුදු 40ක් ගෙවිලත්  තවමත් මගෙ ලඟ තියෙනව. තවම අපි යාලුවුනේ නැතත් අයිය දැන් මම ගැන දන්නව. හොඳින් අධ්‍යාපන වැඩ කරගෙන යන, දිනපතා පන්ති යන අහිංසක ලමෙක් කියන එක අය්යට හිතෙන්න ඇති. මම ගෙදර ඉන්න වෙලාවට මොනව තිබුනත් අය්යලගෙ බස් එක ගේ ඉස්සරහින් යනකොට පාර ලඟට දුවල යනව. මම එහෙම ඉන්නෙ කොහොම හරි අයියගෙ මූන දැකගන්න. මූන දැකගන්න බැරිඋන දවසට මට හරිම අප්සෙට්. ඉඳල හිටල අයියගෙයි මගෙයි ඇස් එකට ගැටෙනව. හුඟක් දවස්වල අයිය ටිකට් කඩ කඩා යන හන්ද මාව පේන්නෙ නැහැ. එහෙම දවසට මට හරිම දුකයි. හිතට මොකක්දෝ පාලුවක් තනිකමක් දැනෙනව. මම අයියගෙ බස් එක යන වෙලාවට මෙහෙම පාරට වෙලා බලාගෙන ඉන්නව කියන එක අයිය දන්නෙවත් නැහැ. එයාට මගෙ ගැන විශේෂත්වයක් කොහෙත්ම නැහැ.  කොන්දොස්තරලට පාරෙදි දිනපතා දහස් ගනන් මගියො මුනගැහෙනව. එයාට මමත් තවත් එක මගියෙක් පමනයි.  

අයිය දැකපු දවසෙ ඉඳල අය්යව නොදැක ඉන්න බැරි තත්වෙට පත්වීම හන්ද මට වාසියකුත් උනා. ඒ තමයි කිසිම හේතුවක් නිසා පන්ති නොගිහින් ඉන්නෙ නැති එක. පන්තියෙ වැඩත් මම හොඳින් කරගෙන ගියත් මම පන්ති යන්නෙ අයියව දැකගන්න ඕනිම හන්දයි. අපේ පන්ති තිබුනෙ රෑට. ඒ හන්ද තවත් එක හොඳක් තිබුන. ඒ තමයි අය්ය එයාගෙ අන්තිම ගමන් වාරය යන්නෙත් පන්ති ඇරෙන වෙලාවට වීම. ඒ හන්ද රෑටත් මට අය්යව දැකගන්න පුලුවන්. සමහර දවස් වලට අය්යලගෙ බස් එක කැඩෙනව. එහෙම දවසට බස් එක හදාගෙන එනකම්ම මගියො ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නව. මොකද ඒ බස් එක තමයි ඒ පාරෙ අන්තිමටම යන්නෙ. එහෙම දවසට ගෙදරට පයින් යන්න පුලුවන් කම තිබුනත් මම අය්යලගෙ බස් එක එන තුරුම ඉන්නව. එහෙම ස්ටෑන්ඩ් එකේ වේලි වේලි ඉඳල අය්යගෙ බස් එක ආවහම අයියගෙ මූන දැක්කහම මට පුදුමාකාර සතුටක් ලැබෙනව. එතකොට මට දැනෙනව මගෙ මුලු ඇඟම මොකක්දෝ අමුතු සනීපයක් වගේ එකකින් කුල්මත් වෙනව. පැය ගානක් බලාගෙන ඉඳල අය්යගෙ බස් එකට නැග්ගත් අය්ය එක්ක කතා කරනව තියා අයියගෙ මූන දිහා කෙලින් බලන්නවත් මට මට ශක්තියක් නැහ. මම අයියගෙන් ටිකට් එක ඉල්ලන්නෙත් බිම බලාගෙන. ටිකට් එක අරගෙන බස් එක ඇතුලට ගියාට පස්සෙ මම හොරෙන් අයිය දිහාව බලාගෙන ඉන්නව. එහෙම බලාගෙන  ඉන්න බයක් අයිය දන්නෙ නැහ. අයිය ටිකට් කඩන්නෙ බිම ඉඳන්. එහෙම ටිකට් කඩන අතරෙ අයියා එක්ක බිම ඉන්න සමහර අය කතා කරනව. ඉතින් ඒව දැක්කහම මට හිතෙනව ඒ මිනිස්සු මොන තරම් වාසනාවන්තද කියල. මටත් ඒ වගේ අය්ය එක්ක කතා කරන්න තියෙනවනම් මොන තරම් සතුටක්ද! මට දුකයි ඉරිසියයි. අඩුම තරමෙ අය්ය මගෙත් එක්ක හිනහවෙනවනම් ඒක උනත් මට ලොකු සතුටක්. කොහොම උනත් දවසකට දෙවතාවක් අය්යගෙ මූන දැකගන්න ලැබෙන හන්ද මම ඉන්නෙ අමුතුම සතුටකින්. ඉගෙන ගන්න එකේ මහන්සියවත් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉඳල තියෙන මහන්සියවත් මගෙ ගතට දෑනෙන්නෙ නැහ. ඒ වෙනුවට දැනෙන්නෙ හිත පුරා උතුරන අමුතු සතුටක්. ගෙදර ගිහින් රෑට බත් එක කන්නෙත් අයිය ගැන හිත හිතා. නින්ද යනතුරුම අය්යගෙ ලස්සන ප්‍රසන්න මුහුන ගැන හිත හිතා ඉන්නව. සමහර දවසට නින්ද යන්නෙත් නැහැ.



No comments:

Post a Comment